Saturday, July 12, 2014

ශ්‍රී ලංකා මහ බැංකුව පිළීබද තතු

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය



ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්තියක සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක වැදගත්කම හඳුනා ගැනීම නිසා නිදහසින් පසු රජය විසින් ලංකා මහ බැංකුව පිහිටුවන ලදි.
        මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින් මෙහෙයවන ලදී.
         දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක සහ නිදහස් ජාතියක අවශ්‍යතා සපුරාගැනීම සඳහා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවන හා යෝග්‍ය නොවන බවට සලකන ලදී. එමනිසා 1948 ජුලි මස දී එක්සත් ජනපද රජයෙන් ලංකාණ්ඩුව මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා මෙහි කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබී ය.





      1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාවලංකාණ්ඩුවට ඉදිරිපත් කරන ලදුව එය පිහිටුවීමට පියවර ගත්තේ ය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය. 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදි.

රටෙහි සමස්ත මූල්‍ය, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පවරන ලදී. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පවරන ලද අතර රටෙහි ජාත්‍යන්තර සංචිතවල භාරකාරු බවට ද එය පත් වුණි. 1949 මුදල් නීති පනතෙහි සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ



(අ) දේශීය මුදලේ අගය ස්ථාවර කිරීම (මිල ස්ථායිතාව පවත්වාගෙන යාම)
(ආ) ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය හෝ විනිමය අනුපාතිකයේ ස්ථායිතාව ආරක්ෂා කිරිම (විනිමය අනුපාතිකයේ ස්ථායිතාව පවත්වාගෙන යාම)
(ඇ) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා නියුක්තිය හා මූර්ත ආදායම ඉහළ මට්ටමක පවත්වා ගෙනයාම සහ ප්‍රවර්ධනය කිරීම
(ඈ) ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම


        ඉහත (අ) සහ (ආ) ස්ථායිකරණ අරමුණු ලෙස වර්ග කළ හැකි අතර (ඇ) සහ (ඈ) සංවර්ධන අරමුණු ලෙස වර්ග කළ හැකි ය. මහ බැංකුවට එහි අරමුණු ඉටුකර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම සම්බන්ධ ව පුළුල් බලතල මුදල් නීති පනත මඟින් පවරන ලදී. එමනිසා මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙනයාම මඟින් වක්‍ර ව පමණක් නො ව මූල්‍ය පද්ධතියේ සංවර්ධනය සහ ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීම මඟින් හා වැඩි ම සංවර්ධන විභව ඇති ප්‍රදේශවලට ණය ක්‍රම හඳුන්වා දීම මඟින් ඍජු ව ද මෙම අරමුණු ඉටු කර ගැනීමේ දී වැදගත් භූමිකාවක් රඟ දැක්වනු ඇතැයි මහ බැංකුවෙන් අපේක්ෂා කරන ලදී. 
         කෙසේ වුව ද සමහර ආර්ථික තත්ත්ව යටතේ එකිනෙකට විරුද්ධ ව ක්‍රියාත්මක වන අරමුණු දෙක එ නම් ස්ථායිකරණ අරමුණු සඳහා මුදල් සහ ණය වර්ධනය කපා හැරීමට මහ බැංකුවට ඇති අවශ්‍යතාවය හා සංවර්ධන අරමුණු සඳහා මුදල් සහ ණය වර්ධනය ප්‍රසාරණය කිරීමට මහ බැංකුවට ඇති අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ගත් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා මහ බැංකුව පටන් ගැන්මේ දී පවරන ලද ස්ථායිකරණ සහ සංවර්ධන අරමුණු එකිනෙක හා ගැටුණි.

එම නිසා මහ බැංකු කටයුතුවල දී ලෝක ව්‍යාප්ත නැඹුරුතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙ‍ෙළඳපො‍ෙළහි ශීඝ්‍ර වෙනස්කම්වලට එකඟ ව ආර්ථික ලිහිල්කරණයට සහ තොරතුරු තාක්ෂණයේ සැලකිය යුතු ප්‍රගතියට අනුගාමී ව 2000 වසරේ දී මහ බැංකුව නවීකරණ වැඩසටහනක් ආරම්භ කළේ ය. ඒ අනුව, රටෙහි ඵලදායී සම්පත් සංවර්ධනය දිරිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අදහස ඇති ව ක්‍රියාත්මක වන මහ බැංකු අරමුණු වනුයේ
1 ) ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙනයාම
2 ) මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගෙනයාම


දැක්ම
      පැහැදිලිව පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව අතිශය කැපවීමකින් යුතුව ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා දායක වන බවයි. සෞභාග්‍යය යන වදන පුළුල් අරුතක් දනවයි. ගුණාත්මක බවින් ආඪ්‍ය ජන ජීවිතයක් ඉන් ධ්වනිත වේ. එය උදාකර ගත හැක්කේ තිරසාර ලෙස ධනය ඉපිදවීම තුලින් සහ සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ජන සමාජයේ සෑම කොටසකටම ඉඩ සැලසීම මගිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාවලියට දායකවනුයේ ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කරමින් හා ආර්ථික කටයුතු පිළිබඳ රජයේ උපදේශකයා ලෙසින් විචක්ෂණශීලි සහ පූර්ව ප්‍රතිචාරි ප්‍රතිපත්ති නිර්දේශයන් රජයට ලබා දීමෙනි. උසස්ම ඒකාග්‍රතාවයකින් සහ වෘත්තීමය මට්ටමකින් පිරිපුන්ව බැංකුව සිය කාර්යයන් ඉටුකිරීමේ නිරත වනුයේ විෂය මූලික සහ නිර්දේශපාලනික යොමුවකින් යුක්තවීම තුළ ගෞරවයට ද පාත්‍ර වෙමිනි.

මෙහෙවර

     ආර්ථික සහ මිල ස්ථායිතාවය (සාර්ව ආර්ථික සමතුලිතතාවය පවත්වා ගනිමින් උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීම) සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය (සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය සුරැකීම) යන මහ බැංකුවේ මුලික පරමාර්ථයන් නොපිරිහෙලා සපුරාලීමේ අවශ්‍යතාවය අපගේ මෙහෙවරින් අවධාරණය කෙරේ. මෙම මෙහෙවර ඉෂ්ට කිරීමෙන් ආර්ථික ක්‍රියාවලියේ නියැලෙන්නන්හට දිගුකාලීන දෘෂ්ඨියකින් යුතුව ආර්ථිකය දෙස බැලීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් වන අතර, ඒ අනුව සම්පත් බෙදාහැරීම, නිෂ්පාදනය, ශ්‍රම සැපයුම, ආයෝජනය, පරිභෝජනය සහ ඉතුරුම් පිළිබඳව සුවිශේෂී වූ වැදගත් තීරණ ගැනීමේ හැකියාව ඔවුනට ලැබේ. මෙවැනි දිගුකාලීන යොමුවක් තිරසාර වර්ධනයට සහ දිළිඳුකම පිටුදැකීමට අත්‍යවශ්‍ය ය.

         මෙම මූලික පරමාර්ථයන් පරිපූරණය කැරෙනුයේ ආර්ථිකයේ නිමැවුම එහි දිගුකාලීන විභවීය හා අපේක්ෂිත මට්ටම් කරා ඉහළ නැංවීමට යෝග්‍ය ප්‍රතිපත්ති නිර්දේශයන්ගෙනි. බැංකුවේ මෙහෙවර ඉෂ්ට කිරිමේ දී එහි ප්‍රධාන සම්පත වන සේවක මඞුල්ල ඉහළම මට්ටමින් විදහා දක්වන වගකීම, කැපවීම සහ විශිෂ්ටත්වය අන් අයටද අනුගමනය කල හැකි ආදර්ශයකි. තම පාර්ශවකරුවන් වෙත සේවය ලබා දීමේ දී බැංකු සේවක මඞුල්ල නිසි මිනුම් දඞු හා සේවා ප්‍රමිතීන් පවත්වා ගනු ලබති. බැංකුව, තම සේවාවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රශස්ත මට්ටමත් අභිබවා යන මට්ටමකට ගෙන ඒමට නිරතුරුවම මහත් පරිශ්‍රමයක් දරයි.


මූලාශ්‍ර ලේඛන ශ්‍රී ලංකා මහ බැංකුව

No comments:

Post a Comment

Blogger Widgets