ආර්ථිකයේ ආංශීය ව්‍යුහය (Economic Sectoral Structure)
මෙහිදී ද.දේ.නි.යෙහි කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශවල වටිනාකම ද.දේ.නි.යෙන් ප්‍රතිශතයන් ලෙස දැක්වේ.
මෙයින් එම අංශයන්ගේ සාපේක්ෂ නිෂ්පාදන වටිනාකම කාලීනව සමස්ත ආර්ථික කටයුතු වලට අනුරූපව වෙනස්වන ආකාරය තුළින් ආර්ථික ව්‍යුහයේ වෙනස්වීම හඳුනාගත හැකිය. සමහර රටවල කෘෂිකර්මය ආර්ථික ව්‍යුහයේ ප්‍රමුඛත්වයක් ගන්නා අතර සමහර රටවල සේවා අංශය හෝ කාර්මික අංශය ප්‍රමුඛත්වයක් ගනී. බොහෝ රටවල ආර්ථිකයන් වර්ෂ ගණනාවක් තුළ දියුණුවන විට කෘෂිකර්මාන්තයේ සාපේක්ෂ දායකත්වය අඩුවී කාර්මික හා සේවා අංශවල දායකත්වය ඉහළ ගොස් ඇත. බොහෝ රටවල් ආර්ථික දියුණුව සඳහා කර්මාන්ත අංශය ව්‍යාප්ත කිරීමට උත්සාහ ගැනීම නිසා මෙම ව්‍යුහාත්මක ලක්ෂණය ඇතිවී ඇත. ආර්ථික සංවර්ධනයේ දී කර්මාන්ත සහ සේවා අංශයේ ප්‍රතිශතය වැඩිවී කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රතිශතය අඩුවීමෙන් කෘෂිකාර්මික අංශයේ කඩාවැටීමක් හෝ පහළ යාමක් සිදුවී ඇති බව අදහස් නොවේ. කෘෂිකර්මාන්ත අංශයේ වර්ධනය තවදුරටත් පවතින අතර එහි නිෂ්පාදනය වැඩිවනු ඇත. එබැවින්, ද.දේ.නි. යෙහි වර්ධනයට කාර්මික සහ සේවා අංශවල දායකත්වය වැඩිවීම හේතුකොට ගෙන කෘෂිකර්මාන්ත අංශයේ සාපේක්ෂ දායකත්වය අඩුවීමක් පමණක් මෙහිදී පෙන්නුම් කෙරේ.
සාමාන්‍යයෙන් බොහෝ රටවල් ගෝලීයකරණය තුළින් සංවර්ධනය වන විට භාණ්ඩ හා සේවා ආනයන සහ අපනයන කටයුතු හේතු කොට නිෂ්පාදන ව්‍යුහයෙහි වෙනස්කම් ඇතිවනු ඇත. නව කර්මාන්ත සහ සේවා දියුණුවීම නිසා එම අංශවල දායකත්වය ඉහළ යන අතර කෘෂිකාර්මික අංශයේ දායකත්වය පහළ බසී. සමහර රටවල සේවා අංශයේ දායකත්වය ප්‍රධාන ස්ථානය ගනී. දියුණුවන බොහෝ රටවල ඉඩම් හිඟය සහ අධි ජන ඝනත්වය නිසා කෘෂිකාර්මික අංශයට ප්‍රධාන අංශය ලෙස ආදායම සහ රැකියා සැපයීමට හැකියාවක් නොමැත. කාර්මික සහ සේවා අංශයට විදේශ ආයෝජනය ලැබෙන අතර කුඩා ඉඩම් ප්‍රමාණයකින් විශාල පිරිසකට රැකියා සැපයිය හැකිය. එහෙත්, ජනගහනය අඩු, ඉඩම් බහුල රටවල කෘෂිකාර්මික අංශය මූලික අංශය ලෙස පවතිනු ඇත.
ශ්‍රී ලංකාවේ 1950 වර්ෂයේ සිට දත්ත විශ්ලේෂණයේ දී ද.දේ.නි. යෙහි කෘෂිකාර්මික අංශයේ ප්‍රතිශතක දායකත්වය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර කාර්මික සහ සේවා අංශවල දායකත්වය ඉහළ ගොස් ඇත. සේවා අංශය ප්‍රමුඛ අංශය ලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.
එහි සාරංශයක් පහත දැක්වේ.