නිදහසින් පසු ආර්ථිකය 1
වර්ෂ 1948 දී නිදහස ලැබීමෙන් පසු වර්ෂ 63 ක කාලයක් ගෙවී ගොස් ඇත. වර්ෂ 63 ක් යනු දීර්ඝ කාලපරිච්ඡේදයකි. මේ කාලයේදී නොයෙකුත් රජයන් බලයට පත් වූ අතර, ඒ ඒ රජයන් විසින් නොයෙකුත් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම, රට සංවර්ධනය කිරීම සඳහා නොයෙකුත් සංවර්ධන වැඩසටහන් ද දියත් කරන ලදී.
නිදහස ලබන අවස්‌ථාවේදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් පැවතියේ කෘෂිකාර්මික ආර්ථිකයක් වශයෙනි. - ජාතික ආදායමට වැඩි වශයෙන්ම දායක වූයේ තේ, රබර් සහ පොල් යන ප්‍රධාන වැවිලි බෝග තුනෙහි නිෂ්පාදනය සහ වෙළෙදාමයි. එසේම දස ලක්‍ෂ හතක් පමණ වූ එවකට ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසකගේ ජීවිකාව රැඳී පැවතියේ ද කෘෂිකර්මය මතය.
- තේ, රබර් සහ පොල් යන ප්‍රධාන වැවිලි බෝග තුනෙහි සැකසුම් ද ඇතුළත් වු වෙළෙඳ හා වාණිජ, බැංකු කටයුතු හා රක්‍ෂණ සහ ප්‍රවාහන හා නිෂ්පාදන යනාදී ආර්ථිකයෙහි අනෙකුත් අංශ රැසක කටයුතු ද වැවිලි අංශයේ ක්‍රියාකාරීත්වය මත රැඳී පැවතුණි. ඒ අවධියේ ආනයන සහ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70 කට පමණ දායක විය.
- 1948 දී අපගේ ඒක පුද්ගල ආදායමඇමරිකානු ඩොලර් 120 ක් හෙවත් රුපියල් 397 ක් විය.
- සාමාන්‍ය වාර්ෂික උද්ධමනයසියයට 7 ක් පමණ විණි.
- සේවා වියුක්‌තය සියයට11.9 ලෙස පැවතිණි.
- 1951 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයසියයට 6.2 ක් වූ අතර, වර්ෂ 1951 සහ වර්ෂ 1955 අතර කාලයේදී සාමාන්‍ය ආර්ථික වර්ධනයසියයට 4.3 ක් ද විය.
- 1950 වසරේ සංඛ්‍යාලේඛන අනුව එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයටකෘෂි අංශය සියයට 46.3 කින්ද, කාර්මික අංශය සියයට 19.6 කින් සහ සේවා අංශය සියයට 36.9 කින්ද දායක වී ඇත.
මේ අප සැකෙවින් සටහන් කළේ නිදහස ලබන අවධියේදී ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ මූලික ආර්ථික තොරතුරු කිහිපයකි.
නිදහසෙන් පසු එළැඹි දශක පහක කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂිකව සියයට 4.2 කින් වර්ධනය විය. වර්ෂ 2000 දී වාර්තා වූ ආර්ථික වර්ධනය සියයට 6 කි. වර්ෂ 2001 දී ශ්‍රී ලංකා ආර්ථිකයයේ වර්ධනය සෘණ 1.5 ක් විය. එම ආර්ථික පසුබෑමෙන් පසු 2002 වසරේදී සියයට 4 ක ආර්ථික වර්ධනයක් අත්කර ගත් ශ්‍රී ලංකා ආර්ථිකය 2003 වසරේදී සියයට 5.9 ක ආර්ථික වර්ධනයක් ලබා ගත්තේය. ඉන්පසු ජනපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් වීමෙන් පසු ගෙවී ගිය ප්‍රථම වසර වන 2006 වසරේදී අපගේ ආර්ථික වර්ධනය සියයට 7.7 දක්‌වා ඉහළ නැඟුණි.
ඉන්පසු 2008 වසර දක්‌වාම සියයට 6 ඉක්‌මවා ගිය ආර්ථික වර්ධනයක් රඳවා ගැනීමට අප සමත් වුවත් ඉන්පසු ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම් හේතුවෙන් 2009 වසෙර්දී වාර්තා වූයේ සියයට 3.5 ක ඉතා මන්දගාමී ආර්ථික වර්ධනයකි. මේ වර්ෂයේදී ලෝකයේ බොහෝ සංවර්ධිත ආර්ථිකයන් පවා වාර්තා කළේ සෘණ ආර්ථික වර්ධනයක් බවද අප සැලකිය යුතු කරුණකි.
වර්ෂ 1948 දී ඇමරිකානු ඩොලර් 120 ක් වූ අපගේ ඒක පුද්ගල ආදායම, වර්ෂ 1997 වන විට ඇමරිකානු ඩොලර් 814 දක්‌වා වර්ධනය වූ අතර, රජය අපේක්‍ෂා කරන්නේ එය වර්ෂ 2016 වනවිට 4470 දක්‌වා ඉහළ නංවා ගැනීමටය.
වර්ෂ 1948 දී සියයට 11.9 ක් ලෙස පැවැති සේවා වියුක්‌ති අනුපාතය, 1973 වසරේදී සියයට 24 ක ඉහළම මට්‌ටමකට පත්වූ අතර 1997 වර්ෂය වන විට සියයට 10.2 පමණ දක්‌වා පහත වැටිණි. මේ වනවිට විරැකියාව සියයට 5.3 පමණ දක්‌වා පහත වැටී ඇත. වර්ෂ 2016 දී සියයට 3.2 දක්‌වා විරැකියාව තවදුරටත් අඩු කර ගැනීම රජයේ අපේක්‍ෂාවයි.
වර්ෂ 1948 න් පසු පත් වූ රජයන් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ ජාතිය ගොඩනැංවීම සහ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමයි. එදා මෙදා තුර බලයට පත් වූ විවිධ රජයන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති, සංවර්ධන වැඩසටහන්, ලෝක ආර්ථික හා වෙළෙඳපොළ තත්ත්වයන්, විශේෂයෙන්ම ලෝක වෙළෙඳපොළේ භාණ්‌ඩ මිල ගණන් හි ඇති වූ වෙනස්‌කම්, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ කොටි ත්‍රස්‌තවාදය යන සාධක නිදහසින් පසු අපගේ ආර්ථික ගමන්මගට තීරණාත්මකව බලපෑවේය.
වර්ෂ 1960 ගණන්වලදී තරමක් දුරට ආර්ථික කටයුතු ලිහිල් කිරීමේ ප්‍රයත්නයන් දක්‌නට ලැබුණත්, සමස්‌තයක් වශයෙන් ගත් කල වර්ෂ 1950 සිට වර්ෂ 1977 දක්‌වාම දක්‌නට ලැබුණේ රජය විසින් ආර්ථික කටයුතු සඳහා වැඩි වශයෙන් මැදිහත්වන ස්‌වභාවයකි. මේ අතුරින් 1970 දශකයේදී ධනය සහ ආදායම් ව්‍යාප්තිය කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කරන ලදී. නිදහසෙන් පසු මෙරට ක්‍රියාත්මක කළ ආර්ථික හා සමාජයීය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් තීරණාත්මකම වෙනස සිදුවූ වර්ෂය, 1977 වර්ෂයයි. 1977 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් කරා යොමු කළ අතර ඉන්පසු බලයට පත් වූ සෑම රජයක් ම පාහේ අනුගමනය කළේ අඩු වැඩි වශයෙන් වෙළෙඳපොළ ක්‍රමය වෙත නැඹුරු වූ ආර්ථික ප්‍රතිපත්තීන්ය.
උපුටා ගන්නා ලද්දේ දිවයින පුවත් පතෙනි.
No comments:
Post a Comment